මර්දනයට එරෙහි විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 24-09-2022 | 3:42 PM

COLOMBO (News 1st) - මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද (24) පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, විරෝධතාව අතරතුරදී භික්ෂුණ් වහන්සේලා දෙනමක් ඇතුළු පුද්ගලයින් 84 දෙනෙකු පොලීසිය භාරයට ගත් බවය. 

ඒ, අතරට කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු ඇතුළත් වේ.

අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට - යන්න තේමා කර ගනිමින් විරෝධතා පා ගමන ආරම්භ කිරීමට සූදානම් කර තිබුණේ කොළඹ ලිප්ටන් වටරවුම අසළිනි.

එහිදී පොලීසිය එම ස්ථානයට පැමිණ නිවේදනය කළේ, ඒ සඳහා අවසර දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් පිරිස ලිප්ටන් වටරවුම අසළ විරෝධතාවයේ නිරත වී අනතුරු පා ගමනින් ඩීන්ස් පාර දෙසින් කොළඹ කොටුව දක්වා පැමිණීමට සූදානම් විය.

පා ගමනට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්න ප්‍රදේශයේදීයි.

අනතුරුව නැවත වතාවක් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල විය.

විරෝධතාකරුවන් පිරිසක් මෙහිදී පොලිස් භාරයට ගැණුනි.

මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ද පොලිස් භාරයට ගැණුනි.

මේ අතර විරෝධතාවය අතරතුර තුවාල ලැබූ කිහිපදෙනෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.