අධිආරක්ෂක කලාප ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක්

ස්ථාන කිහිපයක් අධිආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 23-09-2022 | 7:28 PM

COLOMBO (News 1st) - රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ස්ථාන කිහිපයක් අධිආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ‍ය හා නීතිපති දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය අවට ප්‍රදේශ ද අධිආරක්ෂක කලාප ලෙස නම් කර තිබේ. අකුරගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මුලස්ථානය, ගුවන් හමුදා මුලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලිය ගහ මන්දිරය, ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස පිහිටි ප්‍රදේශ ද මේ ගැසට් නිවේදනයට අනුව අධිආරක්ෂක කලාපයි. මෙම ගැසට් නිවේදනයේ අධි ආරක්ෂක කලාපයට ඇතුළත් වන ප්‍රදේශ ද නිශ්චිතව නම් කර තිබේ. පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරායගේ පුර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රදේශවල කුමන ආකාරයක පෙරහැරක් හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම හෝ නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. මෙම ගැසට් නිවේදනයට අනුව නියෝග ක්‍රියාත්කමක කිරීමේ නිසි බලධාරියා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයායි. අධි ආරක්ෂිත කලාප පිළිබඳ අති විශේෂ ගැස⁣ට් නිවේදනය