.webp)
ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ, රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍යය නියාමනය සඳහා විකාශන අධිකාරියක් පිහිටුවිය යුතු බවයි.
ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට ඊයේ තීරණය කර තිබේ.
රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍ය අන්තර්ගතයන් නියාමනය කිරීමට මෙරට තුළ මූලික නීතියක් නොමැති නිසා එවැනි මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදීත් ඒවායේ අන්තර්ගතයන් විකාශය කිරීමේදීත් ඇතැම් විට විවිධ පාර්ශවයන්ට ගැටලුවලට මුහුණදීමට සිදුව ඇතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මතයයි.
ඇතැම් මාධ්‍ය සදාචාර විරෝධී අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතුවන අකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලු මතුව ඇති බව ද අමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව ජනතාවට වග වන මාධ්‍ය සංස්කාතියක් හා විද්‍යුත් මාධ්‍ය සඳහා අචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකි අයුරින් නව විකාශන නීතියක් හඳුන්වා දිය යුතු බව බන්දුල ගුණවර්ධන මහතාගේ මතයයි.
කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
පසුගිය දා පැවැත්වුණු රුසියානු සංචාරයේදී එහිදී මට ලෝකයේ විවිධ රටවල විවිධ තරාතිරම්වල පුද්ගලයන් රාශියක් පෞද්ගලිකව මුණ ගැසෙන්න අවස්ථාව ලැබුණා. ඔවුන් හැම දෙනෙක්ම මගෙන් අහපු පොදු ප්‍රශ්නයක් තිබුණා. ඔබේ රටට බයෙන් හා සැකෙන් තොරව ගමන් කරන්න පුළුවන්කමක් තිබෙනවා ද කියන ප්‍රශ්නය. ඔහු මාව ප්‍රශ්න කළා. ඔබේ රටේ මිනීමැරුම් ප්‍රචණ්ඩ ක්‍රියා විශාල ප්‍රමාණයක් තිබෙනවා. සංචාරකයින් පැමිණියාම ගුවන් තොටුපොළට එන පාර හරස් කරනව ද ගමන් බලපත්‍රය පාස්පෝට් එක අරගෙන බලය නැති වෙනත් පාර්ශව පරීක්ෂා කරනවා ද දිනපතාම මෙවැනි ප්‍රචණ්ඩත්වයක් තුළ ඉතාම විශාල ම්ලේච්ඡ, ඉතාම නොදියුණු සංස්කෘතිකමය හර පද්ධතියක් තියෙන රටක් ලෙස සන්නිවේදනයක් වෙලා තියෙනවා ලෝකය තුළ. අපි කැමති වුණත් අකමැති වුණත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වෙන ආකාරයේ සිදුවීම් නිවැරදි කිරීමේ ශක්තිය තිබෙන්නේ වැඩි ශක්තියක් තිබෙන්නේ අපේ රටේ සමාජ මාධ්‍ය හා ජාතික තලයේ මාධ්‍ය ආයතනවලට කියලා අපි විශ්වාස කරනවා.
මේ අතර විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක් සකස් කිරීමට පත්කර ඇති කැබිනට් අනුකමිටුවේ සභාපති අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, නීතිමය දැනුමක් ඇති පුද්ගලයෙකු මෙම කාර්ය සඳහා ප්‍රමුඛත්වය ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලයෙන් ආ යෝජනාව මත තමා ඒ සඳහා පත්කළ බවයි.
නමුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නියෝජිතයින් හෝ එහි කාර්ය භාරය, පිළිබඳව මෙතෙක් සාකච්ඡා කර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.