අවශ්‍ය දේ ඇත්නම් ලැයිස්තුවක් දෙන්න-චීන තානාපති

තවත් අවශ්‍ය දේ ඇත්නම් ලැයිස්තුවක් දෙන්න... චීන තානාපති අගමැතිගෙන් ඉල්ලයි

by Staff writer 22-09-2022 | 4:50 PM

COLOMBO (News 1st) – අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව මෙරට චීන තානාපති කී සෙන්හොන්ග් මහතා පවසයි. 

චීන තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ, ඊයේ (21) අරලිගහගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීයි. 
 
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ,  චීනය ද  මූල්‍ය  අරමුදලේ සාමාජිකයෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ සහතික වූ බවයි.  

දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් 400,000 වටිනා ආහාර හා අනෙකුත් මානුෂීය ආධාර ලබාදී ඇති බව සිහිපත් කර ඇති තානාපතිවරයා පවසා  ඇත්තේ,  තවත් අවශ්‍ය දේ ඇත්නම් ඊට අදාළ ලයිස්තුවක් ලබාදෙන ලෙසයි. 
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත චීන ජාතික දින සැමරුම් උත්සවයට අගමැතිවරයා එහිදී  උපහාර පිරිනමා තිබේ. 

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව පවසා ඇති අගමැතිවරයා විශේෂයෙන් වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට චීනය ලබා දෙන සහයට ද එහිදී  ස්තූතිය පළ කර ඇත.  

ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව ද චීන තානාපතිවරයා හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.