මහීෂ් ඇතුළු යුද හමුදා විශිෂ්ටයින්ට උසස්වීම්

මහීෂ් ඇතුළු යුද හමුදා ක්‍රීඩා විශිෂ්ටයින්ට උසස්වීම්

by Sagarika Chathumali 21-09-2022 | 11:56 AM

COLOMBO (News 1st) –   මෙවර ආසියානු ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුද හමුදාවේ මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලය දක්වා  උසස් කර තිබේ. 

යුද හමුදාව නිවේදනය කළේ, මීට අමතරව මෙරව ආසියානු දැල්පන්දු ශූරතාව ජය ගත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය  කළ යුද හමුදා සාමාජිකාවන්ටද  උසස්වීම් ලබාදුන් බවයි.   

ඒ අනුව, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදී ඇත.  

ඊයේ (20)  එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාධිපති කාර්යාලයට කැඳවා  යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා ලබාදී සුබපැතුම් ද පිරිනමා තිබේ. 

මෙම අවස්ථාවට සහභාගී වූ මෙවර ආසියානු කායවර්ධන ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනාගත් යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ වෙත ද මෙහිදී මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කර ඇත. 

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිට ඇත.