ජනපති නිවසින් මත්පැන් බෝතල් සොරකම් කළ 4ක් රිමාන්ඩ්

ජනපතිගේ නිවසින් විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ 4ක් යළි රිමාන්ඩ්..

by Staff writer 21-09-2022 | 5:42 PM

COLOMBO (News 1st) – පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ඇතුළු වීමක් සිදුකර එහි තිබූ විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කරනු ලැබුවේ, ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබූ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

ජනාධිපතිවරයාගේ නිවසේ තිබූ සමපෝෂ පැකට්ටුවක් සොරකම් කළ බවට දින 51 කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. 

ඇප ලබා දුන් සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, අවුරුදු 22-29 අතර වයස්වල පසුවීම සහ විමර්ශන බොහෝ දුරට සිදු කර තිබීම ඇතුළු කරුණු ගණනාවක් සැළකිල්ලට ගෙන සැකකරුවන්ට ඇප ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ය. 

බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ගැනීමටත් ඔවුන්ගේ ගිණුම් වාර්තා මෙන්ම දුරකතන කුළුණු වාර්තා ලබා ගැනීමටත් පොලීසිය සිදු කළ ඉල්ලීම් සදහා අවසර ලබා දුන්නේ ය. 

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා ය.