කිරීටයක ගෞරවය රැක දුන් යුගයක නිමාව

කිරීටයක ගෞරවය රැක දුන් මහ රැජිණ අද අවසන් ගමනේ...

by Staff writer 19-09-2022 | 12:38 PM

COLOMBO (News 1st) – හිරු නොබසින අධිරාජ්‍යයේ දීර්ඝතම කාලයක් කිරීටය දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණ අද (19) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේහීදී අවසන් ගමන් යයි. 

වර්ෂ 1952 දී බ්‍රිතාන්‍යයේ සහ  පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස පත්වූ දෙවන එළිසබෙත් රැජිණ පසුගිය දා අභාවයට පත්වන තුරු වසර හැත්තෑවකුත් දින දෙසියය දාහතරක් එම තනතුරේ නායක වගකීම නොපිරිහෙළා ඉටුකරමින් පසුගිය 08 වෙනිදා ගමන නිමා කළා ය. 

එතැන්  පටන් අද දක්වා විවිධ චාරිතවාරිත්‍ර ඉටුකරමින් මහ රැජිණගේ දේහයට අවසන් ගෞවර දැක්වීම සිදු කෙරිණ. 

දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකවරු රැසක් ලන්ඩන් නුවරට පැමිණ සිටිති. 

රැජිණගේ දේහය තැන්පත් කර ඇති වෙස්මින්ස්ටර් ශාලාවේ විශේෂ පීඨිකාවක දී අමරිකානූ ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු රාජ්‍ය නායකයින් සිය අවසන් ගෞරව දැක්වීම සිදු විය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වීය.


රැජිණට ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටිය ද දේහයට අවසන් ගෞරව දැක්වීමට ලබාදී තිබූ කාලය මේවන විට අවසන් වී තිබේ. 

පිරිමින් ආධිපත්‍යය දරන ලෝකයක “තමන්ගේම භූමිකාවක් දෙවන එළිසබෙත් රැජිණ කැටයම් කළ බව තුන්වන චාල්ස් රජුගේ කැමිලා බිසව දෙවන එළිසබෙත් රැජිණට උපහාර පුද කරමින් පැවසුවා ය. 

රැජිණගේ දේහය තැන්පත් කර ඇති වෙස්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය කරා රැගෙන යන අවමංගල්‍ය පෙරහැර එරට වේලාවෙන් උදෑසන 10.35 ට ආරම්භ වීමට නියමිතයි. 

තෙවන චාර්ල් රජු ප්‍රමුඛ රාජකීයන් අවමංගල්‍ය පෙරහැරේ පෙරටුව ගමන් ගැනීම සිදු වේ. 

වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී රාජ්‍ය අවමංගල්‍ය දේව මෙහෙය ආරම්භ වන්නේ උදෑසන 11.00 ටයි. 

එහි දී එක්සත් රාජධානිය පුරා විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරමින් රැජිණ සිහිපත් කිරිම සිදු වේ.

වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ ආගමික වතාවත්වලින් අනතුරුව රැජිණගේ දේහය රැගැත් විශේෂ රථ පෙරහැර වින්සර්ඩ් මාළිගය කරා ගමන් කරනු ඇති.

වින්සර්ඩ් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන අවමංගල්‍යය දේව මෙහෙයට සහභාගි වීමට අවස්ථාව උදා වන්නේ රාජකීය පවුලට සහ ළඟම ඥාතීන්ට පමණි. 

හිරු බැස යන සන්ධ්‍යාවේ දෙවැනි එළිසබත් රැජිණගේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රාජකීය සොහොන් ගැබේ තැන්පත් කෙරෙන්නේ වසර 70 ක් පුරා කිරීටයක ගෞරවය රැක දුන් යුගයක නිමාව සටහන් කරමිනි.