මත්තලක නිවසක සඟවා තිබූ සැප ජීප් රථයක් මාට්ටු..

හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තලක නිවසක සඟවා තිබූ සැප ජීප් රථයක් මාට්ටු..

by Staff writer 18-09-2022 | 12:55 PM

COLOMBO (News 1st) - රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තල ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී අත්අඩංගුවට පත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක අයිතිකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග මත පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මත්තල පොලීසිය පවසයි.

මත්තල, අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ජීප් රථයක් සඟවා ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදී මෙම ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

පානදුර ප්‍රදේශයේ පදිංචි තමන්ට දුරින් ඥාතිවන පුද්ගලයෙකු කතරගම යාමට පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය සකස් කර රැගෙන යනතෙක් තම නිවසේ නවතා තබන බව පවසා මෙම ජීප් රථය සිය නිවසේ නවතා දමා ගිය බව පොලිස් ප්‍රශ්න කිරීමේදි ජීප් රථය නවතා තිබූ නිවෙසේ හිමිකරු පොලීසියට පවසා තිබේ.

කෙසේ නමුත් අදාල වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාවයක් තහවුරු කිරීමට නිවෙස් අයිතිකරු අපොහොසත් විම නිසා අදාල ජීප් රථය  පොලිස් භාරයට ගෙන සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මෙම ජීප් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවය.

වාහනය සඳහා අදාල ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම ජීප් රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සඟවා තබා ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාව වන විට වාහනයේ පැවති ලියාපදිංචි සහතික ද ව්‍යාජව සකස් කර තබූ එකක් බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර රේගු නිලධාරීන් හා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා මත්තල පොලීසියට නියෝග කර තිබේ.