විස සහිත සහල් කතාව අසත්‍යක්

විස සහිත සහල් ලංකාවට ගෙනා බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 18-09-2022 | 9:51 AM

COLOMBO (News 1st) - විස සහිත සහල් ලංකාවට ගෙනා බවට පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ,මෙම වසරේ මේ දක්වා කාලය තුළ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවයි.

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ වැරදි පුවත සකස් කර ඇති බවය.

එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, රත්නවීර මහතා සඳහන් කළේ ය.

මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර මහතා පවසා ඇත්තේ, මෙය 2017 වසරේ දී නුවර ප්‍රදේශයේ සාම්පල 68 ක් ලබා ගනිමින් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බවයි.

එම පර්යේෂණ තොරතුරු ද වැරදි ලෙස වාර්තා කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බවත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමාජගත කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවත් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පවසා ඇත්තේ 2022 ජනවාරි මාසයේ සිට පරීක්ෂා කළ සහල්වලට එය අදාළ නොවන්නේ නම් එලෙස වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවය.

මේ සිදුවීම හා පුවත්පත් වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකිරීමට වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කටයුතු කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වැඩි දුරටත් සඳහන් වේ.