මොස්කව් - කොළඹ ගුවන් ගමන් යළි ඇරඹීමට සැලසුම්

මොස්කව් - කොළඹ ගුවන් ගමන් යළි ඇරඹීමට සැලසුම්

by Staff writer 17-09-2022 | 5:42 PM

COLOMBO (News 1st) - මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාකවට එක් වෙමින් ඔහු කියා සිටියේ, ලබන මස මැද දෙරට අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට රුසියානු බලධාරීන් සූදානම් බවයි. 

මීට මාස කිහිපයකට පෙර අධිකරණ නියෝගයකට අනුව රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් මෙරටදී රඳවා ගනු ලැබුවේ ය.

එම සිද්ධියෙන් අනතුරුව කොළඹ බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට එරොෆ්ලොට් සමාගම තීරණය කළේ ය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, යානය මෙරට රඳවා ගැනීමේ සිද්ධිය බරපතල අත්වැරැද්දක් බවයි.

සිදු වූ දෙය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමාව ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙවැනි දෙයක් යළි ඇති නොවන බවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා ආණ්ඩුව සහතික වන බව ද අමාත්‍යවරයා රුසියානු රූපවාහිනි නාලිකාව සමග කියා සිටියේ ය.