ගවයින් ගැන කෘෂිකර්මයෙන් ගත් තීන්දුව

අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපල වෙත යොමු කිරීමට තීරණයක්

by Staff writer 17-09-2022 | 9:37 AM

COLOMBO (News 1st) - අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවලට යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල  ගව පාලනයෙහි නිරතව සිටින පුද්ගලයින් ගවයින්ට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහිත බිම් හිඟ වීම නිසා තම සතුන් අභය භූමිවලට හා වනාන්තරවලට මුදා හරින බවයි.

යාල, විල්පත්තුව, ලුණුගම්වෙහෙර, උඩවලව, කැබිලිත්ත වැනි අභය භූමි, වනාන්තර හා රක්ෂිතවලට එලෙස මී ගවයින් හා එළගවයින්  මුදාහැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය.

අමාත්‍යාංශය පැවසුවේ, එම ගවයින් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වන සතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී ඇති බවයි.

එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස වන අලි ගම් වැදීමද ඉහළ ගොස් ඇත.

දැනට කිරිගවයින් හිඟකම නිසා දෛනිකව පශු සම්පත් මණ්ඩලයට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවෙමින් පවතින අතරම පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවලින් කිරිගවයින් අලෙවි කිරීම ද අත්හිටුවා ඇතැයි කෘෂිකර් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඉන්දියාවෙන් කිරි ගවයින් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා කළ අතර  එම සාකච්ඡා යම් තරමකට සාර්ථකව ඇති බවයි.