ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයට යෝජනාවක්

ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට යෝජනාවක්

by Staff writer 15-09-2022 | 5:58 PM

COLOMBO (News 1st) - රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පැවති දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩස් මහතා සමග ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහේ සහ කොරි බූකර් යන සෙනෙට් සභිකයින් ය.

ඔවුන් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ පාලනය අතිශය දූෂිත, පවුල්වාදී, විනිවිදභාවයකින් තොර එකක් බවයි.

එම පාලනය යටතේ 2020 සිට මානව හිමිකම් ක්‍රියාධරයින්, නීතිඥවරුන්, ජනමාධ්‍යවේදී හා ආණ්ඩුවේ වැඩපිළිවෙළට අභියෝගයක් වන පිරිස් බිය වැද්දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව ද සෙනෙට් සභිකයින් සිය යෝජනාවේ සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ පවුල් පාලනය කෘෂිකර්මය සම්බන්ධයෙන් වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, දරාගත නොහැකි දැවැන්ත ව්‍යාපෘති සඳහා චීනයෙන් ඩොලර් බිලියන ගණනින් ණය ගැනීම හා රාජ්‍ය සම්පත් පුද්ගලික අරමුණු සදහා යොදාගෙන ඇති බවයි.

වංචා දූෂණ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු වගකීම් සහගත පරීක්ෂණ පැවැත්වීම ඇතුළු මහජන ඉල්ලීම් සලකා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය අසමත්වී ඇතැයි අමෙරිකානු සෙනෙට් සභිකයින් සිව්දෙනා සිය යෝජනාවේ සඳහන් කර තිබේ.

සාමකාමී දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම පිළිබඳවත් අවධානය යොමුකරන ඔවුන් අමෙරිකානු සෙනෙට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර ඇති යෝජනාවලට සහය වන ලෙසයි.