අධිචෝදනා 11කට සක්විති රණසිංහට දඬුවම්..

අධිචෝදනා 11කට සක්විති රණසිංහට දඬුවම්..

by Staff writer 14-09-2022 | 7:14 PM

COLOMBO (News 1st) – උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ නැමැත්තාට බරපතල වැඩසහිත වසර 22ක සිර දඬුවම් අද(14) නියම කළේ ය. 

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ය.

එම සිර දඬුවම් ක්‍රියාත්මක කිරීම වසර 5කට අත්හිටුවනු ලැබුවේ ය.

එලෙස සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික පොළියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයින්ගේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් තැන්පතු ගැනීම ඇතුළු අධිචෝදනා 11කට වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

විනිසුරුවරයා අධිචෝදනා 11ට වෙන් වෙන්ව රුපියල් 25,000 බැගින් දඩයක් ද නියම කළේ ය.

එම දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස හය බැගින් වූ ලිහිල් සිර දඬුවම් ලබා දීමට විනිසුරුවරයා නියෝග කළේ ය.

ඊට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ වරද පිළිගත් ඔහුගේ බිරිඳටද වසර 2ක සිර දඬුවම් අධිකරණය නියෝග කළේ ය.

එය  වසර 5කට අත්හිටුවා රුපියල් 25000 ක දඩයක් ද නියම කෙරිණි. 

වරද පිළිගත් විත්තිකරුවන්ට නියම කළ දඩ මුදල් හෙට(15) ගෙවීමට ද විනිසුරුවරයා අවසර ලබා දුන්නේ ය