සනත් නිශාන්තට සිතාසි නිකුත් කිරීමේ තීරණය 29...

සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළාද? නැද්ද? සිතාසි නිකුත් කිරීමේ තීරණය 29 වැනිදා

by Staff writer 13-09-2022 | 8:10 PM

COLOMBO (News 1st) –  අධිකරණයට අපහාස කළැයි චෝදනා නගමින් ගොනුකළ පෙත්සම් 2කට අදාළව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි සිතාසි නිකුත් කිරීම පිළිබඳ තීරණය 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද(13) දැනුම් දුන්නේ ය. 

පසුගිය අගෝස්තු 23 වැනිදා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සනත් නිශාන්ත මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ මහේස්ත්‍රාත්වරුන්ට අගතියක් සිදුවිය හැකි ආකාරයේ අපහාසාත්මක අදහස් පලකර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 2 ගොනුකර තිබේ. 

ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරුන් දෙදෙනා ගොනුකල පෙත්සම් අද විමසා බැලුවේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ ය.

නීතීඥ විජිත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය හරහා මහෙස්ත්‍රාත්වරුන්ට බරපතළ බලපෑමක් සිදුකර ඇති බවයි.

ඔහුගේ ප්‍රකාශය තුළින් රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවට සඳහන් කර ඇති බවත් ඒ හරහා ඔහු මෙරට අධිකරණ බලය හෑල්ලූවට ලක්කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

මේ ප්‍රකාශය හරහා සනත් නිශාන්ත මහතා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුඳු වන ආකාරයේ අදහසක් පළකර ඇති බවද ඔහු සඳහන් කළේ ය. 

සිතාසි නිකුත් කිරීම පිළිබඳ තීරණය 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන් අභියාචනාධිකරණය නිවේදනය කළේ, විදේශ ගමන් තහනමක් පැනවීම ඇතුළු අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝග ද එදින ප්‍රකාශයට පත් කරන බවයි.