.webp)
COLOMBO (News 1st) – ජූලි මස 09 වැනිදා කළ පහරදීම සම්බන්ධයෙන් MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන් 08 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(09) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
අදාළ පෙත්සම් ඉදිරිපත් කළේ, මාධ්‍යවේදීන් වන සරසි පීරිස්, වරුණ සම්පත්, ජනිත් මෙන්ඩිස්, ටී ජූඩින් සින්දුජන්, ඉමේෂ් සදර්ලන්ඩ්, චානුක වීරකෝන්, කේ.චන්ද්‍රන් සහ ළහිරු මධුෂංකආරච්චි යන අයයි.
පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙත්සම්වල වගඋත්තරකරුවන් ය.
අදාළ පෙත්සම් අද කැඳවූයේ, ප්‍රියන්ත ජයවර්ධන, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුමේෂ් ලියනගේ යන මහත්වරුන් සහ 8වන වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා දැනුම් දුන්නේ, සීමිත විරෝධතා ගොනු කරන බවයි.
පස්වන වගඋත්තරකරු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමල්ඩීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ, තම සේවාදායකයා විරෝධතා ගොනු කර ඇති බවයි.
ඒ අනුව එහි පිටපත් පෙත්සම්කරුවන්ට ද සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවේ ය.
එමෙන්ම ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට අධිකරණය අවසර දුන්නේ ය.
නීතිඥ චරික වනිගබදුගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, දමිත කරුණාරත්න,නිරංජන් අරුල්ප්‍රගාසම්,එන්.කේ.අශෝක්බරන් සහා මියුරු ඉගලහේවා යන මහත්වරුන් පෙත්සම්කරුවන් අට දෙනා වෙනුවෙන් පෙනී සිටී.
මෙම පෙත්සම් ලබන වසරේ ජනවාරි 31 වැනිදා යළි කැඳවීමට නියමිතය.