.webp)
COLOMBO (News 1st) - ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන ලද යූරියා පොහොර බෙදා හැර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම පොහොර ගෙන්වනු ලැබුවේ, 2022 යල කන්නය සඳහායි.
පසුගිය සිකුරාදා වන විට යල කන්නයේ මෙරට වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 කි.
හෙක්ටෙයාර් 304,734ක් වගා කර තිබූ ගොවීන් 490, 515කට බෙදාහැර ඇති සමස්ත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740 ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
යල කන්නයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් වගා කර ඇත්තේ, උතුරු මැද පළාතේයි.
ඒ අනුව එම පළාතට වැඩිම යූරියා පොහොර ප්‍රමාණය ලෙස මෙට්‍රික් ටොන් 9,623 ක් බෙදා දී තිබේ.
ඉන්දීය රජය විසින් මෙරටට ගෙනා යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000කි.
ඉන් තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ඉතිරි වී ඇති බැවින් ඒවා මහ කන්නයේ වගා කටයුතු සඳහා බෙදා දීමට නියමිතය.
වී වගාවට අමතරව බඩඉරිඟු, අර්තාපල් හා තේ වගාවට ද යූරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.