විස්තීරණ ණයක් කියන්නේ මොකක් ද? එකඟ වූ පමණින් අපිට IMF ණය ලැබෙයි ද?

by Sagarika Chathumali 02-09-2022 | 12:52 PM

විස්තීර්ණ ණය... මොකක්ද මේ විස්තීරණ ණය?

වසර 4 ක කාල සීමාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් ලබාදීමට අදාළ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  ඊයේ (01) නිවේදනය කළේ ය.  

කිසියම් රටක ගෙවුම් ශේෂයේ නොකඩවා හිඟයක් ඇති වුවහොත් එම හිඟය පියවා ගැනීම සඳහා සාමාජික රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා දෙන ක්‍රම දෙකක් පවතී.  

සමීපස්ථ ණය පහසුකම 
විස්තීරණ ණය පහසුකම 

විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් රටක මහ බැංකුවට ණය මුදල ලබා දෙන්නේ, එම රටේ විදේශීය සංචිත වැඩි දියුණු කර ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනීම සඳහායි. 

විස්තීරණ ණය ක්‍රමයේදී ණය ලබා ගන්නා රට තම රටේ ගෙවුම් ශේෂයේ විශාල අර්බුදයක් පවතින බවත් එකී අර්බුදය විසඳා ගැනීම සඳහා යම් යම් උපක්‍රම  භාවිත කරන බවත් සඳහන් කරමින් රටේ මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිගේ ඒකාබද්ධ අත්සනින් යුතුව මූල්‍ය අරමුදල වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළ යුතු ය.


එකඟ වූ පමණින් අපිට IMF ණය ලැබෙයි ද?

අද උදෑසන නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්වෙමින්  හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජයවර්ධන මහතා  විස්තීර්ණ ණය පහසුකමක් ලබාදීමට අදාළ නිලධාරී මට්ටමේ එකඟතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය. 

එහිදී නියෝජ්‍ය අධිපතිවරයා පැවසුවේ,  ශ්‍රී ලංකාව තවමත් මූල්‍ය අරමුදල වෙත මෙම ලිඛත ඉල්ලීම සිදු කර නොමැති බවත්  ඊයේ එකඟතාව අදාළ ඉල්ලීම සිදු කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්, මහ බැකු නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ඇති වූ තාවකාලික සම්මුතියක් බවයි. 

ඒ අනුව විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළව ඉදිරි පියවර රැසක් පවතින බව ද නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේ ය. 

''විස්තීරණ ණය ලැබුණොත් අවුරුද්දකට පොලිය ගෙවන්න ඕන වාර්ෂිකව සීයයට තුන හමාරක් පමණ. මේක අපිට අවුරුදු 8 ත් 10 ත් අතර ආපසු ගවෙිය යුතුයි. මේක ලබා ගන්න පුළුවන් වෙන්නෙ, අවුරුදු 4ක් වගේ කාලයක් තුළ සෑම අර්ධ වාර්ෂිකවම ලබා ගන්නා ක්‍රමයක් මගින් එය ලබා ගැනීම සඳහා ඒ ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආණ්ඩුව මූලිකව ඉදිරිපත් කළ ලේඛනය අනුව විවිධ ක්‍රියාකාරකම් සිදු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහිමකට පත් කළ යුතු වේ''

තව ද මෙම විස්තීරණ ණය පහසුකම මහ බැංකුවට ලැබෙන ණයක් මිස රටේ ආණ්ඩුවට ලැබෙන ණයක්  නොවන බව සඳහන්  කළ  ඔහු වැඩිදුරටත් කියා සිටියේ,අයවැය ලේඛනයට මින් කිසිදු සහනයක් හිමි නොවන බවයි.

IMF අපේක්ෂා කරන මූලික අරමුණු... 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකම ලබාදීමේදී අපේක්ෂා කරන මූලික අරමුණු 7 ක් ද ප්‍රකාශයට පත්කර තිබේ. 

ලෝකයේ අඩුම ආදායම් මට්ටමක පවතින රටවල් අතරින් එකක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මූල්‍ය ආදායම ඉහළ නැංවීම ඒ අතර ප්‍රමුඛ කරුණකි.

ඒ යටතේ ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම.පුද්ගලික ආදායම් බද්ද වඩාත් ප්‍රගතිශීලී කිරීම. ආයතනික ආදායම් බදු සහ වැට් බදු සඳහා බදු පදනම පුළුල් කිරීම ද ඔවුහු අපේක්ෂා කරති.  

2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන්  2.3% ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂාවයි.

රජය සතු ව්‍යපාරවල මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලියට පිරිවැය පියවාගැනීම පදනම් කරගත් මිල ගණන් හඳුන්වා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන තවත් ප්‍රධාන කරුණකි.

ඔවුන් පවසන්නේ දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති ආදායම් වැඩිකර ගැනීමේ පියවර සහ බලශක්ති සඳහා හඳුන්වාදී ඇති මිල ප්‍රතිසංස්කරණ අගය කරන බවයි.

වියදම් ඉහළ යාම නිසා දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මත ඇතිවී තිබෙන වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් සකස් කිරීමත් ඒවා වැඩිදියුණු කිරීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන මූල්‍ය පහසුකම්වල තවත් අරමුණකි. 

දත්ත මත පදනම්වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් මිල ස්ථාවරත්වය නැවත ඇතිකිරීම සහ නම්‍යශීලී උද්ධමනයක් ඉලක්ක කරගත් පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා මහ බැංකුවේ මූල්‍ය ස්වාධිපත්‍යය ශක්තිමත් කිරීමට නව මහ බැංකු පනතක් ඉදිරිපත් කළ යුතු බව ද ඔවුහු පවසති. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ මෙම වැඩ සටහන මගින් පරිපූර්ණ ප්‍රතිපත්ති රාමුවක් තුළින් විදේශ විනිමය නම්‍යශීලීවීමට ඉඩ ලබාදී ඒ හරහා විදේශ සංචිත ඉහළ නැංවීමයි.

බැංකු පනත සංශෝධනය කර මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂක ජාලය පුළුල් කර සාර්ථක හා යහපත් බැංකු පද්ධතියක් ඇතිකිරීම තුළින් මූල්‍ය ස්ථාවරත්වය ඇති කළ යුතු බව ද පෙන්වා දී තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහයෝගය ලබාගෙන ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් සකස්කර ඒ හරහා මූල්‍ය විනිවිදභාව සහ මූල්‍ය කලමනාකරණය වැඩි දියුණු කිරීමත් දූෂණය ඇතිවිය හැකි ස්ථාන අවම කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයකි.