මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක්

මන්ත්‍රී ගයාෂාන් නවනන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 02-09-2022 | 4:39 PM

COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතාගේ දැනුම් දීම පරිදි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(02) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසකි.

පෙත්සම්කාර මන්ත්‍රීවරයා කියා සිටින්නේ, තමන් රජය වෙත සහය පළ කිරීමට තීරණය කිරීමෙන් පසුව පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස පක්ෂයේ මහලේකම් වාසුදේව නානායක්කාර මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඒ අනුව පොදුජන පෙරමුණ විසින් තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීමට ක්‍රියා කර ඇති බව පෙත්සමේ සඳහන් ය.

සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු නොකළ බව පවසන පෙත්සම්කාර මන්ත්‍රීවරයා එය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝණය කිරීමක් බවත් පවසයි.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.