ලංගමෙන් ඉන්ධන බෙදීම විධිමත් කිරීමට චක්‍රලේඛයක්

ලංගමෙන් ඉන්ධන බෙදීම විධිමත් කිරීමට නව චක්‍රලේඛයක්...නීතිපති අධිකරණයට දැනුම්දෙයි

by Staff writer 31-08-2022 | 5:08 PM

COLOMBO (News 1st) - ලංකා ගමනාගමන මණ්ඩලය මාර්ගයෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි නීතිපතිවරයා අද (31)  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විසිනි.

ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදු කළේ ය.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවනු ලැබිණ. 

පසුගියදා පෙත්සම් කැඳවූ අවස්ථාවේ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව එහි ප්‍රගතිය අද අධිකරණයට දැනුම් දුන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව දන්වා සිටි‌යේ ය.