ලංකාවේ තෙල් ව්‍යාපාරය:පිටරට සමාගම් 24ක කැමැත්ත

ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරතවීමට ජාත්‍යන්තර සමාගම් 24ක් කැමැත්ත පළ කරයි - ඇමති කංචන

by Staff writer 28-08-2022 | 1:01 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර සමාගම් 24ක්, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් ය.

දීර්ඝ කාලීන පදනම මත ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදා හැරීම හා අලෙවිය සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල කීර්තිමත් සමාගම්වලින් අභිලාෂයන් කැඳවමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුගිය ජුලි 25 වැනිදා දැන්වීමක් පළ කර තිබුණි.

අදාල ජාත්‍යන්තර සමාගම් සිය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ අදාළ දැන්වීමට අනුවයි. 

අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් පත් කරන ලද කමිටුව විසින් යෝජනා ඇගයීම හා  ඉදිරි ක්‍රියාවලිය සති 6 කින් අවසන් කරනු ඇති බවයි.