චීන නෞකාව ගැන මිලින්දගෙන් ප්‍රකාශයක්..

චීන නැව ගැන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ගෙන් ප්‍රකාශයක්..

by Staff writer 27-08-2022 | 7:22 PM

 COLOMBO (News 1st) –  චීන යාත්‍රාවක් හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමේ සිද්ධිය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් වූ බවට විවාදයක් නැතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි. 

ඔහු කියා සිටියේ , අනාගතයේදී එවැනි ගැටලු මගහරවා ගැනීමට සහ මෙවැනි ප්‍රශ්න තුළින් විශ්වාසය කඩවීම්වලට ඉඩ නොතැබීම සඳහා රාමුවක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න ගැටලුව අප හමුවේ ඇති බවයි.

ද හින්දු පුවත්පතට අදහස් දක්වමින් මිලින්ද මොරගොඩ මහතා මේ බව කියා සිටියේ ය. 

ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මේ බව පවසා ඇත්තේ,  චන්ද්‍රිකා සහ මිසයිල ලුහුබැඳිය හැකි යුවාන් වැන්ග් ෆයිව් චීන නෞකාව හම්බන්තොට වරායෙන් පිටව ගොස් දින කිහිපයකට පසුවයි.

මෙම මතභේදය සම්බන්ධයෙන් ඉන්දිය රජයට ඉහළම දැනුම්දීමක් කර ඇතැයි මිලින්ද මොරගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

මිලින්ද මොරගොඩ මහතාට අනුව මෙම චීන නෞකාවට අදාළ අවසරය ලබා දී තිබෙන්නේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වීමත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමග මෙන්ම ආර්ථික අර්බුදයට තුඩුදුන් මෙරට දේශපාලන ව්‍යාකුල තත්ත්වය මධ්‍යයේ ය.

එම පසුබිම තුළ ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් දී නැතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හින්දු පුවත්පතට සඳහන් කළේ ය.

2019 වසරේ සිට 2022 වසර දක්වා ඉන්දියාවට කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි වෙනස් පන්තිවලට අදාළ පර්යේෂණ යාත්‍රා 10 ක් මෙරටට නැංගුරම් ලෑම හේතුවෙන් මෙම නෞකාවේ සංචාරය සඳහා එම පිළිවෙත අනුගමනය කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම විශේෂිත අවස්ථාවේදී යාත්‍රා පන්ති හෝ තාක්ෂණික ක්‍රම අතර වෙනස හඳුනා ගැනීමේදී මෙරට ව්‍යාකුල තත්ත්වයකට පත්වන්නට ඇති බවය.

අවාසනාවකට අනුමැතිය ලබාදුන් පසු එය ආපසු ගැනීම අසීරු බව ද මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේ ය.

විශේෂයෙන්ම ආර්ථික හා උපාය මාර්ගික ක්ෂේත්‍රයේ ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගිතාව සම්බන්ධයෙන් වන සබඳතාවල අනාගතය දෙස බැලීම වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.

ඉන්දියාවේ ණය මාර්ග ඇතුළුව ඩොලර් බිලියන තුනයි දශම 8ක ආර්ථික ආධාරවලට අමතරව ඉන්දියාව හා කොළඹ අතර වෙළෙඳ සබඳතා, බලශක්තිය බෙදා ගැනීමේ ජාලයක් හා පුනර්ජනනීය බලශක්තිය මෙන්ම තෙල් ගබඩා කිරීමේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් පවතී. 

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා ද ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.