මැති - ඇමති නිවාසවලට පහර දුන් 3 ක් අත්අඩංගුවට

මැයි 09 විදුර වික්‍රමනායකගේ හා ලසන්ත අලගියවන්නගේ නිවාසවලට පහර දුන් 3 ක් අත්අඩංගුවට

by Staff writer 25-08-2022 | 8:36 AM

COLOMBO (News 1st) - පසුගිය මැයි 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ හොරණ පිහිටි නිවසට, දේපොළවලට හා රජයේ වාහනවලට පහරදී ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

39 හැවිරිදි සැකකරු හොරණ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මේ අතර මැයි 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ කිරිඳිවැල පිහිටි නිවසට හා දේපොළවලට පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

27 හා 35 හැවිරිදි සැකකරුවන් ඌරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මේ අතර දිවයින පුරා සිදු වූ මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර ඇත.

එම කමිටුව සඳහන් කළේ, නිලධාරීන් 35 දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසු බවයි.

හිටපු යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරු ඒ අතර වේ.

මැයි 9 වැනි දා දිවයිනේ සිදු වූ ප්‍රහාර වළක්වා ගැනීමේදී ආරක්ෂක අංශවලින් අඩුපාඩුවක් සිදු වූවාදැයි සොයා බැලීම මෙම කොමිෂන් සභාව විසින් සිදු කරනු ඇත.

මෙහි වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නියමිතය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ එම කමිටුවේ සභාපති ලෙස කටයුතු  කරන්නේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතායි.

එහි සෙසු සමාජිකයින් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක යන මහත්වරුන් කටයුතු කරනු ඇත.