.webp)
COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියාවල නිරත වීම සඳහා වසර 05 ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ඇතිවයි.
මෙම චක්‍රලේඛය අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපති මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවයේ නියතු සේවකයින්ට මෙම අවස්ථාව හිමිවනු ඇති.
විදේශ විනිමය ප්‍රේෂණ ඉහළ නංවා ගැනීමත් ,රටේ මානව සම්පත ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම මගින් රටේ ආර්ථිකයට ඉහළ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙහිදී කොන්දේසි කිහිපයක් යටතේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි වසර 05 ක උපරිමයකට යටත්ව විදේශීය නිවාඩු ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
කිසියම් රාජ්‍ය සේවකයෙකුට විදේශ රැකියාවක නිරත වීම සඳහා වැටුප් රහිත නිවාඩු අයදුම් කිරිමේදී අදාළ ආයතනය තුළ එම සේවකයාගේ වැඩ ආවරණය කිරීමට හෝ වැඩ බැලීමට අභ්‍යන්තරික පදනම මත වෙනත් සේවකයෙකු යෙදවීම සඳහා ක්‍රමවේදයක් ඇත්නම් පමණක් ආයතන ප්‍රධානියා විසින් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලිය යුතු වේ.
රාජ්‍ය සේවයේ ස්ථිර පදනම මත සේවයේ නියතු නිලධාරීන්ට පමණක් මෙම අවස්ථාව හිමිවන බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.
අදාල සේවකයා තම ආයතනයෙන් බැංකුවලින් හෝ වෙනත් ආයතන වලින් ණය මුදල් ලබාගෙන ඇත්නම් මෙම වැටුප් රහිත කාල සීමාව තුළ, එම ණය මුදල් යළි ගෙවන ආකාරය පිළිබඳ නිත්‍යානුකූල ගිවිසුමකට පැමිණිය යුතුයි.
