.webp)

COLOMBO (News 1st) - පසුගිය ජුලි 9 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාව වාර්තා කිරීමට ගිය නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, MTV චැනල් පුද්ගලික සමාගමේ පැමිණිල්ලට අදාළව කෙරෙන විමර්ශනයට ජනාධිපති ආරක්ෂක අංශයේ වත්මන් අධ්‍යක්ෂ හා එවක අගමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මහතා අද (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණි.
විමර්ශනය අද සිදුකෙරුණේ, කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ සහ කොමසාරිස් අනුසුයා ෂන්මුගනාදන් මහත්මිය ඉදිරියේදීය.
එහිදී සිද්ධියට අදාළව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර ඇති බැවින්, එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවීමෙන් පසුව කොමිසම හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීම මානව හිමිකම් කොමිසම ප්‍රතික්ෂේප කළේ ය.
කොමිසම අවධාරණය කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මහතා ප්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් කොමිසමට ඉදිරිපත් කිරීමට කරුණු නොමැති සේ සලකා තීරණය ලබා දෙන බවය.
ඒ අනුව, ලබන සැප්තැම්බර් 9 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මහතාට දන්වා සිටියේ ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් කොමිසම හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පැවසුවේ. ඊයේ (23) සවස තම සේවාදායකයා තමන් දුරකතනයෙන් අමතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නඩුවක් පවරා ඇතැයි දැනුම් දුන් බවය.
එම නඩු වාර්තා සම්පූර්ණයෙන් පරීක්ෂා කර සේවා දායකයාගෙන් උපදෙස් ගැනීමට අවශ්‍ය බැවින් අද ජමාල්ඩීන් මහතා විසින් කිසිදු ප්‍රකාශයක් සටහන් කිරීමට කැමැත්තක් නොමැති බව ඔහු කොමිසමට දැනුම් දුන්නේ ය.
ජනාධිති නීතිඥවරයා පැවසුවේ, අද දින ප්‍රකාශයක් ලබාදුනහොත් ඔහුගේ විත්තිවාචකයට අගතියක් වේයැයි සිතන බවය.
මෙම කරුණ නිසා අද දින ප්‍රකාශයක් නොකරන්නැයි තමා විසින් උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කළේ ය.
MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දමිත කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මානව හිමිකම් නඩුව සහ අද දින පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනය සම්පූර්ණයෙන් පරීක්ෂණ දෙකක් බවය.
කොමිසමේ පරීක්ෂණය නැවැත්වීම සඳහා කිසිදු අධිකරණයකින් හෝ කිසිදු ආයතනයකින් වාරණ නියෝගයක් ලබාදී නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
එවැනි අවස්ථාවක මෙම පරීක්ෂණයට දින කිහිපයක් ලබාදී පසුව අද අවසන් දිනයද ලබාදී තිබියදී පරීක්ෂණය කල් තැබීම MTV ආයතනයට සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වලට බලවත් අගතියක් බවද නීතිඥ දමිත කරුණාරත්න මහතා පෙන්වා දෙන ලදී.
ඔහු ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් අවසන් තීරණය ලබා දෙන ලෙසය.
මානව හිමිකම් කොමිෂන් සභාවේ අංක 21 දරණ පනතේ සඳහන් කරුණු ගැන එතරම් පැහැදීමක් නොමැතිව ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කර ඇතැයි තමාට වැටහී ගිය බව කොමිසමේ සභාපතිවරිය දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රකාශ කළේ ය.
ඇය පෙන්වා දුන්නේ, කොමිෂන් සභාවේ පරීක්ෂණයත් , ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන පරීක්ෂණයත් වෙනම පසුතල දෙකක පවත්වාගෙන යන ඒවා බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව හේතුවෙන් මෙම පරීක්ෂණය නවතා සිටිය නොහැකි බවද අවධාරණය කළ රොහිණී මාරසිංහ මහත්මිය වගන්තිද පහදා දෙමින් පෙන්වා දුන්නේ කොමිෂන් සභාවේ පරීක්ෂණය දිගටම පැවැත්විය යුතු බවයි.
පරීක්ෂණයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් මහතාගේ සාක්ෂිය වැදගත් වන අවස්ථාවේ එය නොදී පැහැර හැරීම පනත යටතේ නොකළ යුතු දෙයක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිණිය අවධාරණය කළා ය.
