MTV සමාගමෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගමෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

by Staff writer 22-08-2022 | 9:43 PM

COLOMBO (News 1st) - සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම අද(22) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ලිපියක් භාර දුන්නේය.

පසුගියදා MTV චැනල් පුද්ගලික සමාගමේ මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික හා කෘෘර ප්‍රහාරයෙන් පසුව කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට හිරිහැර කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා විධායක අංශය විසින් බිය ගැන්වීමේ උපක්‍රම භාවිතා කිරීම කණගාටුවට කරුණක් බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එහි සඳහන් වන්නේ, MTV චැනල් පුද්ගලික සමාගමේ පෙනී සිටීම ඉල්ලා සිටින සෑම අවස්ථාවකම පොලීසිය, මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ පද්ධතියට සමාගම අවනතව ඇති බවයි.  

එවැනි තත්ත්වයක් තුළ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, අධ්‍යක්ෂවරුන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර හිරිහැර කිරීම මගින් MTV චැනල් පුද්ගලික සමාගම සහ එහි මාධ්‍ය මෙහෙයුම් අපකීර්තියට පත් කිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිලි බව ද අදාළ ලිපියේ සඳහන් වේ.  

එම ලිපියෙන් මානව හිමිකම් කොමිසමට පෙන්වා දී ඇත්තේ, සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් CID පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් මාධ්‍යවේදීන්ට පහර දුන් අය සහ එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන් යන දෙදෙනාම මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නොතකා ජනාධිපති ආරක්ෂක අංශයේ වැදගත් තනතුරුවල රඳවා ඇති බවයි.

වත්මන් පසුබිම තුළ, සත්‍ය සාක්ෂි සමගින් හෙළිදරව් වුවහොත්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී, ශ්‍රී ලංකා රජයට දැඩි ගැටලුකාරී බවක් ඇතිකරනු ඇති බව ලිපියේ සඳහන් වේ. 

රටක පාලන කාලය තුළ ඕනෑම රජයක් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ භාවිතයන් නිසි ලෙස පිළිපැදීම සහතික කිරීම සඳහා MTV චැනල් පුද්ගලික සමාගම අනිවාර්යයෙන්ම ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කරන බවත්, මාධ්‍ය නිදහසට වක්‍රකාර සහ නීති විරෝධී ආක්‍රමණයක් සැමවිටම හෙළා දකින බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

මානව හිමිකම් කොමිසමේ ගරු සභාපති ,විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගෙන්  MTV චැනල් පුද්ගලික සමාගම ඉල්ලා සිටින්නේ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීමෙන්, තවදුරටත් හිරිහැර කිරීම සහ භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස මර්දනය කිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙසය.

එලෙස මැදිහත් වන ලෙසට ඉල්ලා සිටින අවස්ථා වන්නේ, නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ මුවාවෙන් තම අධිකාරිය අනිසි ලෙස භාවිතා කරමින් නිදහස් මාධ්‍ය අත්තනෝමතික ලෙස පදනම් විරහිතව බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කිරීම නැවැත්වීම,

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරය එළඹෙන බැවින්, විශේෂයෙන්ම, ප්‍රහාරයෙන් අවධානය වෙනතකට යොමු කරමින්, සීමාසහිත  MTV චැනල් පුද්ගලික සමාගම භාවිතා කිරීමට උත්සාහ කිරීම,

පහරදීම සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් සහ සාධාරණව අවසන් කිරීමට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම,

සාධාරණ නඩු විභාගයක් පැවැත්විය හැකි වන පරිදි, විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට එරෙහිව වධහිංසා පැමිණවීම් හෝ ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා හෝ පොරොත්තු විමර්ශන හෝ මූලික අයිතිවාසිකම් කඩකිරීම් හෝ මානව හිමිකම් ක්‍රියාමාර්ග පවතින පොලිස් නිලධාරීන් වහාම අත්හිටුවීම හෝ මාරු කිරීම යි.