ලංකාව ගැන අමෙරිකා කොංග්‍රස් සභිකයින් කළ ඉල්ලීම

විරෝධතා දැක්වීමට ලංකාවේ වැසියන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම‌ට සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන්න - අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10ක් එරට රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි

by Staff writer 20-08-2022 | 5:19 PM

COLOMBO (News 1st) - සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා නොකිරීමට සහ විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම, සහතික කිරීම සඳහා පවතින සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන ලෙස අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙකු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ USAID පරිපාලක සමන්තා පවර් වෙත යොමු කරන ලද ලිපියකින් කොංග්‍රස් සභිකයින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී අර්ථවත් සහයක් ලබා දෙන ලෙසය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරි නීතිය පැනවීම, විරෝධතා හෙළා දකිමින් ඒවා මැඩපැවැත්වීම සඳහා ජීව උණ්ඩ පවා භාවිතා කරන ලෙස යෝජනා කළ බව පෙන්වා දුන් කොංග්‍රස් සභිකයන් පවසන්නේ සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා නොගත යුතු අතර දුක්විඳින පුරවැසියන්ට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම තිබෙන බව ය.

ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට සහාය වන ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ඇතුළත් කරන ලෙස එම ලිපිය තුළින් ඔවුන් ඉල්ලා සිටී.

වගවීම සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ දිගුකාලීන ගැටලු විසඳීමේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙනයාම සහ කලාපය සඳහා වන අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වැඩිදියුණු කිරීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

වැඩි කරන ලද ආහාර, වෛද්‍ය සහ ඉන්ධන ආධාර ඇතුළුව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද එම ලිපියෙන් ඔවුන් USAID ආයතනයෙන් ඉල්ලා තිබේ.

ජුනි මස අවසානයේදී USAID විසින් නව මානුෂීය සහ සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් මිලියන 11.75ක් ලබා දුන් බව ද එම ලිපියෙන් තවදුරටත් අවධාරණය කර සිටී.