ඩලස්ගෙන් අගමැතිට ලිපියක්

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු ක්‍රියාදාමයට සහභාගී කර ගැනීමේදී වෛරී දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා - ඩලස්ගෙන් අගමැතිට ලිපියක්

by Staff writer 19-08-2022 | 9:04 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් පවසන්නේ, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු ක්‍රියාදාමයට සහභාගී කර ගැනීමේදී වෛරී දේශපාලනයක් ක්‍රියාත්මක වන බවයි.

දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු කළ තමාද මෙවර ඉවත්කර ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා පත් කර ගැනීමේ ඡන්දයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ තමන්ට ක්‍රියාකාරීව සහය පළ කළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙන්ම පොදු ව්‍යාපාර කාරක සභාවට පත් නොකිරීමට ද කටයුතු කර ඇති බව ද එම ලිපියේ සඳහන් ය.

ඔහු පවසන්නේ, මේ අයුරින් දේශපාලන දණ්ඩනයට ගොඳුරු වූ පිරිස අතර තමන්ගේ නම ස්ථීර කළ මහාචාර්ය ජී.එල්. පීරිස්, ඡන්දය ගණන් කිරීමේ නියෝජිතයා වූ ඩිලාන් පෙරේරා, මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියෙකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් ද සිටින බවයි.

පොදු ව්‍යාපාර කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටි මහාචාර්ය චරිත හේරත් මහතා, එම කමිටු සාමාජිකයෙකු වූ ආචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන් ද මෙවර කෝප් කමිටුවේ නාම ලේඛනයෙන් ඉවත්කර ඇතැයි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමතමින් යැවූ මේ ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ඇතුළු පාර්ශ්ව 7 කට ද යොමු කර තිබීම විශේෂත්වයකි.