ආන්දෝලනාත්මක චීන නැව අද හම්බන්තොටට

ආන්දෝලනාත්මක චීන නැව අද හම්බන්තොටට

by Staff writer 16-08-2022 | 6:52 AM

COLOMBO (News 1st) - ආන්දෝලනාත්මක චීනයේ යුවාන් වැන්ග් 5 අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද (16) උදෑසන 7.30 ට පමණ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතව තිබේ.

මෙම නෞකාව පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද අලුයම හම්බන්තොට වරාය වෙත පිටත්ව ගියේ ය.

චීනයේ යුවාන් වැන්ග් 5 අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට පිවිසියේ ය.

චීන නෞකාවට අද සිට දින 7 ක් හම්බන්තොට වරායට පිවිසීමට ශ්‍රී ලංකාව අවසර ලබා දුන්නේ විවාදාත්මක තත්ත්වයක් තුළයි.

යුවාන් වැන්ග් 5 නෞකාවට මීට පෙර පසුගිය 11 වෙනි දා සිට 17 වෙනි දා දක්වා නැවත පිරවීමේ පදනම මත හම්බන්තොට වරායට පිවිසීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදුන්න ද ඉන්දියාවේ විවිධ පාර්ශ්ව මතු කළ විරෝධතාවලට සමාන්තරව එම අමාත්‍යාංශය චීනයෙන් ලිඛිතව ඉල්ලා සිටියේ නෞකාවේ පැමිණීම ප්‍රමාද කරන ලෙසය.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීමට හේතුව ප්‍රසිද්ධ කළේ නැත.

එම ලිපිය නිකුත් කෙරන විට පසුගිය මස 14 වෙනි දා චීනයෙන් පිටත්වී මසකට ආසන්න කාලයක්ගත කරමින් යුවාන් වැන්ග් 5 නෞකාව ඉන්දීය සාගරයට ද පිවිසී තිබුණි.

ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කිරීම නතර කළ චීන නෞකාව පසුගිය දින කිහිපයගත කළේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් සාගර අභ්‍යන්තරයේ පිහිටි නයින්ටිඊස්ට් රිඩ්ජ් කඳු පන්තිය ආශ්‍රිතව යාත්‍රා කරමිනි.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.