අද සිට සියලු පාසල් සතියේ දින පහේම..

අද සිට සියලු පාසල් සතියේ දින පහේම.. - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 15-08-2022 | 8:48 AM

COLOMBO (News 1st) – අද(15) සිට රජයේ සහ රජය අනුමත සියලු පාසල් සතියේ දින පහේම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ගත් තීරණයකට අනුවයි.

එහිදී ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පළාත් බලධාරීන්ට උපදෙස් දී තිබේ. 

අදින් ආරම්භ වන පාසල් සතිය තුළ ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් වෙනුවෙන් විදුහල්පතිවරුන් සහන ලබාදිය යුතුයි.

ඉදිරි තෙමසක කාලය, විෂය ඉගැන්වීම් සඳහා පමණක් යොදා ගැනීමට තීරණය කර තිබේ. 

විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදුකිරීමටත් පාසල් උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය කෙරිණි. ‍

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පාසල් සිසු දරුවන්ට දැනුම් දෙන්නේ, කොරෝනා ව්‍යාප්තිය යළිත් ඉහළ යමින් පවතින බැවින් දැඩිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසය.

මේ දිනවල ඩෙංගු රෝගය ද ව්‍යාප්තව පවතින බැවින් පාසල් පරිශ්‍ර ආශ්‍රිතව මදුරු මර්ධනය ඉතාම වැදගත් බව ඔහු පැවසුවේ ය.