විගණන කාර්යාලයෙන් ණය ගැන හෙළිදරව්වක්

රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 104.6% ක් දක්වා වර්ධනය වෙයි - විගණන කාර්යාලය

by Staff writer 14-08-2022 | 7:57 AM

COLOMBO (News 1st) - මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 104.6%ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ බව අනාවරණය වී  ඇත්තේ 2018 - 2022 වර්ෂවලට අදාලව ජාතික විගණන කාර්යාලය සිදු කළ  ශ්‍රී  ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ විමර්ශනවලට අදාලවයි.

2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 86.8% ක් වූ  රාජ්‍ය ණය ප්‍රතිශතය පසුගිය වසර දෙකක කාලය තුල 17.8%කින් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මෙම වාර්තාවේ දැක්වේ.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ, ණය ශ්‍රේණිගත කිරීමේ ආ‍යතන විසින් 2019 වසරේ අවසානයේ සිට ණය තිරසාරභාවය පදනම්ව ක්‍රමයෙන් ණය ශ්‍රේණිගත කිරීම පහළ  හෙලීම සහ ඒ සම්බන්යෙන් දක්වන ලබන හේතු පිළිබඳව මහබැංකුව හෝ මුදල් අමාත්‍යාංශය ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වු බව හෝ එම තත්ත්වය සමනය කිරීම සඳහා ප්‍රමාණවත් සහ ඵලදායි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නිරීක්ෂණය වන බවයි.

මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය අඛණ්ඩව වර්ධනය වී ඇති අතර එය 2010 වර්ෂයට සාපේක්ෂව 2021 වසරේදි සියයට 257 කින් එනම් රුපියල් හත් ලක්ෂ අනු තුන්දහස් අටසිය අසූ අටක් දක්වා වර්ධනය වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.