පකිස්ථානයේ ටයිමූර් යුද නැව කොළඹට

නිල සංචාරයකට ආ පකිස්ථානයේ ටයිමූර් යුද නැව කොළඹට

by Staff writer 12-08-2022 | 6:02 PM

COLOMBO (News 1st) - පකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද (12) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

නෞකාව ලබන 15 වැනි දා පකිස්ථානයට යාත්‍රා කිරීමට නියමිතය.

ටයිමූර් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණේ අද උදෑසනයි.

නාවික හමුදා සම්ප්‍රදායානූකූලව මෙරට නාවික හමුදාව ටයිමූර් නෞකාව පිළිගත්තේ ය.

ටයිමූර් යුද නෞකාව දිගින් මීටර් 134 ක් වන අතර 169 ක නැව් මුළුවකින් සමන්විතයි.

එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්. යසීර් තාහීර් කටයුතු කෙරේ.

ටයිමූර් නෞකාව ලබන 15 වැනි දා දක්වා මෙරට තුළ රැඳී සිටින අතර එම කාල සීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධන කර ගැනීම සඳහා සංවිධානය කළ විවිධ වැඩසටහන්වලට සහභාගී වීමට නියමිතයි.

නාවික හමුදාව නිවේදනය කළේ, නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමට ද නියමිත බවය. 

පකිස්ථානයේ කරච්චි බලා යන ගමනේ දී ටයිමූර් නෞකාව මැලේසියාවේ සහ කාම්බෝජයේ දී ද ඒකාබද්ධ අභ්‍යාසවලට ද සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර ටයිමූර් යුද නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානය යොමුකර තිබුණි.

බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹට පැමිණියේ ඉන් අනතුරුවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වැනි දා පකිස්ථානයට අයත් මෙවැනිම යුද නෞකාවක් වන ටුග්රිල් නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.

එම නෞකාව සහ මෙරට නාවික හමුදාවට අයත් සිදුරල නෞකාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2021 දෙසැම්බර් 16 වැනි දා මෙරට බටහිර නාවික විධානයට අයත් මුහුදු කලාපයේ පැවැත්විය.