දඬු ලේනාට එරෙහි වූ ගොවි සංවිධාන

වගාවට හානි කරන දඬු ලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කර ඇති ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි ගොවීන්ගෙන් යෝජනාවක්

by Staff writer 12-08-2022 | 10:56 AM

COLOMBO (News 1st) - ජාතික සත්ත්වයා ලෙස නම් කර ඇති දඬු ලේනා එම ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි කෘෂිකර්ම හා වනජීවි අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ගොවි සංවිධාන කිහිපයක් එම යෝජනාව ඉදිරිපත් කරමින් පෙන්වා දි ඇත්තේ දඬු ලේනා වගාවට හානි කරන සත්ත්වයින් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් එම සත්ත්වයාට එරෙහිව පියවරක් ගැනීමට ජාතික සත්ත්වයා ලෙස නම් කිරීම බාධාවක් වී ඇති බවයි.

ඒ අනුව ජාතික සත්ත්වයා ලෙස ශ්‍රී  ලංකාවට ආවේණික වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති වෙනත් සුදුසු සත්ත්වයෙකු නම් කරන්නැයි ඔවුන් ඉල්ලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය.

අමාත්‍යවරයා  සඳහන් කළේ, මේ පිළිබඳව ජාතික උරුමයන් නම් කරන කමිටුව ඇතුළු පාර්ශව සමග සාකච්ඡා කරන බවයි.

ඒ අනුව ජාතික සත්ත්වයෙකු ලෙස වෙනත් සුදුසු සත්ත්වයින් කිහිප දෙනෙකුගේ නම් මේ වනවිටත් ඉදිරිපත්ව ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට අවේණික කොටියාද වන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළේ ය.

දඬු ලේනාගේ හානියෙන් පොල් හා කොකෝවා වගාවන්ගේ අස්වැන්නට බරපතල බලපෑම් එල්ල වී ඇති බවද ඔහු පැවසුවේ ය.