යුරෝපා සංගම් තානාපතිවරුන් පිරිසක් ජනපති හමුවෙයි

GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිල ක්‍රියාවලි සාර්ථක කර ගැනීමට රජය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා - යුරෝපා සංගම් තානාපතිවරු ජනපතිට දැනුම් දෙයි

by Staff writer 11-08-2022 | 9:48 AM

COLOMBO (News 1st) -  යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන යුරෝපා සංගමය පවසන්නේ, මේ අභියෝගාත්මක කාලසීමාව තුළ තම සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටින බවයි.

සිවිල් හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම සියල්ලන්ටම වඩා ප්‍රකාශනයේ නිදහස හා විරෝධතාවට ඇති අයිතිය අතිශයින් වැදගත් බව යුරෝපා සංගමය එමගින් පෙන්වා දෙයි.

ඔවුන් කියා සිටියේ, ශ්‍රී ලංකාව නැවතත් සුපුරුදු ගමන් මගට ගෙන ඒමට ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවට තමන් එකඟ වන බවය.

යුරෝපා සංගමය සඳහන් කළේ, විදේශ කටයුතු සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාවලින් තුනක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපතිවරයා දිරිගැන්වූ බවයි.

ඒ අනුව GSP+, IMF හා මානව හිමිකම් කවුන්සිලය යන එම ක්‍රියාවලි සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.