ගෝඨාභය ගැන දැනුම්දීමක්

වෙනත් රටක ස්ථිර රැකවරණය ලබා ගන්නා තෙක් ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනවා - තායිලන්ත අගමැති

by Staff writer 11-08-2022 | 10:57 AM

COLOMBO (News 1st) - වෙනත් රටක ස්ථීර රැකවරණ ලබා ගන්නා තෙක්  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇතැයි  තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන ගැටලුව මානුෂීය ගැටලුවක් හෙයින් ඔහුට තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය.

හිටපු ජනාධිපතිවරයාට තායිලන්තයේ රැඳී සිටින කාලසීමාව තුළ කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් විය නොහැකි බවත්, ඒ අතර කාලය තුළදී වෙනත් රටකට  පිවිසීම සඳහා කටයුතු කළ හැකි බවත් බවත්, තායිලන්ත අගමැතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, තායිලන්තයේ විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තයිලන්තයට පැමිණෙන්නේ නම් තම රටට ඉන් කිසිදු ගැටලුවක් ඇති නොවිය යුතු බවයි.

ඔහු අවධාරණය කර ඇත්තේ, රාජපක්ෂ මහතාගේ නවාතැන් පහසුකම් පිළිබඳව තායිලන්ත රජය කිසිදු වගකීමක් නොදරන බවයි.

රොයිටර් වාර්තාවන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංගප්පූරුවේ සිට තායිලන්තයට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය හරහා මේ සඳහා ඉල්ලීමක් ඉදිරිපත්වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තනී සංගරත් මහතා ඊයේ තහවුරු කළේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඔහු කියා සිටියේ, දෙරට අතර සහයෝගීතාව මත එම ඉල්ලීම සලකා බැලූ බවයි.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු වන බැවින් 2013 දෙරට අතර ඇතිකරගත් ගිවිසුමට අනුව දින 90 ක කාලයක් ඔහුට වීසා නොමැතිව තායිලන්තයට ඇතුලුවිය හැකි බව ද තනී සංගරත් මහතා සඳහන් කළේ ය.

ඔහු නිකුත්කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වූයේ, මෙම සංචාරය තාවකාලික වන අතර එය ඉදිරි ගමන් සඳහා යොදා ගන්නා අවස්ථාවක් බවයි.

මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතා තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බව ද තායිලන්ත විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.