යුක්‍රේන ධාන්‍ය අපනයනය ඉහළ නැංවිය හැකියි

යුක්‍රේන ධාන්‍ය අපනයනය ඉහළ නැංවීමේ ඉලක්කය සාක්ෂාත් කර ගත හැකියි - එක්සත් ජාතීන්ගේ සංවිධානය

by Staff writer 11-08-2022 | 8:48 AM

News 1st - මසක් තුළ යුක්‍රේනයෙන් අපනයනය කෙරෙන ධාන්‍ය ටොන් ප්‍රමාණය ඉහළ නැංවීමේ ඉලක්කය සාක්ෂාත් කරගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කළේ, මසකට ධාන්‍ය ටොන් මිලියන දෙකේ සිට පහ දක්වා නැව් මගින් යුක්‍රේනයේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීම අරමුණ බවයි.

නාවුක ප්‍රවාහන කටයුතු සඳහා රුසියාව, තුර්කිය සහ යුක්‍රේනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති කරගත් එකඟතාවලින් අනතුරුව යුක්‍රේන වරායන්වලින් ධාන්‍ය අපනයනය යළි ආරම්භ කෙරිණි.

ඒ අනුව, යුක්‍රේනයෙන් ආහාර සහ පොහොර රැගෙන ගමන් ගන්නා නැව් සඳහා නාවික සැතපුම් 10 ක ආරක්ෂිත මුහුදු කලාපයක් ද වෙන් කර ඇතැයි සඳහන් ය.

රුසියානු ආක්‍රමණය ආරම්භයත් සමග ලොව වැඩිම ඉරිඟු නිෂ්පාදනය කෙරෙන රටක් වන යුක්‍රේනයෙන් ලෝක වෙළෙඳපොළට සැපයෙන ධාන්‍ය ප්‍රමාණය දැඩි ලෙස සීමා විය.

ඊට විසඳුමක් ලෙස යළි එම අපනයන කටයුතු ආරම්භ කෙරුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයකගේ මැදිහත්වීමෙනි.