පාතාලය මඩින්න මෙහෙයුම් දැඩි කෙරේ

පාතාලය මඩින්න මෙහෙයුම් දැඩි කෙරේ

by Staff writer 11-08-2022 | 8:02 AM

COLOMBO (News 1st) - පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ රට තුළ පැවති විවිධ උද්ඝෝෂණ හා ඉන්ධන පෝලිම්වල ආරක්ෂාවට පොලිස් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට සිදුවීම හේතුවෙන් පාතාල ක්‍රියාකාරම් මර්දනය සම්බන්ධයෙන් අවධානය අඩු වූ බවය.

කෙසේ වෙතත් මේ වනවිට එම තත්ත්වයන් සමනය වෙමින් පවතින බැවින් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායම් වශයෙන් අදාල මෙහෙයුම් සඳහා යෙදවීමට පියවර ගත් බව ඔහු පැවසුවේ ය.

ඒ අනුව පසුගිය දිනවල ඝාතන හා අපරාධවලට යොදා ගත් ගිනිඅවි කිහිපයක් විශේෂ කාර්ය බලකා සෙබළුන් භාරයට ගෙන තිබේ.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, පසුගිය සති කිහිපයේ සිදු වූ ඇතැම් ඝාතනවලට පාතාල කණ්ඩායම් කිහිපයක් අතර ඇති වූ අමනාපකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවී ඇති බවයි.

මේ පිළිබඳ පුළුල්ව විමර්ශනය කර පාතාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.