හිටපු ජනපති ගෝඨාභය හෙට තායිලන්තයට - රොයිටර්

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට පිටත්ව යාමට සූදානම් - රොයිටර්

by Staff writer 10-08-2022 | 9:16 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව යාමට සූදානම් වන බව, රොයිටර් පුවත් සේවය අද (10)  වාර්තා කළේ ය.

ශ්‍රී ලංකා රජය හරහා මේ සඳහා ඉල්ලීමක් ඉදිරිපත්වූ බව, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක , තනී සංගරත් මහතා අද පස්වරුවේ තහවුරු කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

එම මහතා කියා සිටියේ දෙරට අතර සහයෝගීතාව මත එම ඉල්ලීම සලකා බැලූ බවයි.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු වන බැවින් 2013 දෙරට අතර ඇති කරගත් ගිවිසුමට අනුව දින 90 ක කාලයක් ඔහුට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු විය හැකි බව ද තනී සංගරත් මහතා සඳහන් කළේ ය.

ඔහු නිකුත් කළ  ට්විටර් පණිවිඩයේ සඳහන් වූයේ මෙම සංචාරය තාවකාලික වන අතර එය ඉදිරි ගමන් සඳහා යොදා ගන්නා අවස්ථාවක් බවයි.

මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතා තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බව ද තායිලන්ත විදේශ කටයුතු අමත්‍යාංශයේ ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.