STF භාරයේ සිටි පාතාල සාමාජිකයා ගල් වළට වැටී මරුට

STF අත්අඩංගුවේ සිටි පතාල සාමාජිකයෙක් ගල් වළකට වැටී මරුට

by Staff writer 09-08-2022 | 11:39 AM

COLOMBO (News 1st) –  එස්.ටී.එෆ්. අත්අඩංගුවට පත් පාතාල වෙඩික්කරුවෙකු වූ  තුවාන් සිරාන් ඊයේ රාත්‍රියේදි නවගමුව කොරතොටදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවෙන් මිදී පලා යෑමේදී ගල්කොරියකට වැටී මියගොස් තිබේ. 

පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ,   මුල්ලේරියාව බැංකුව හංදිය ප්‍රදේශයේ පසුගිය 02 වන දා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභිකයෙකු වන සුමුදු රුක්ෂාන් මහතා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට මොහු සම්බන්ධ බවයි.

සැකකාර තුවාන් සිරාන් නමැත්තා පොලිස් විශේෂකාර්ය බලකාය නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කමල විජේසිරි මහතා පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළේ ය. 

මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිරුර විවාහක බිරිඳ වෙත ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව මළ සිරුර කොළඹ පොලිස් මෘත ශරිරාගාරයට රැගෙන ගියේ ය. 

ඔහු තවත් ඝාතන රැසක වෙඩික්කරු බවට අනාවරණ වී ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය.  

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක්කටාගේ ගෝලයෙකු ලෙස මොහු හැඳින්වේ. 

යතුරු පැදියකින් එදින තවත් පුද්ගලයෙකු සමග පැමිණි මෙම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට වෙඩි තබා පලා ගොස් තිබිණ. 

මොහු අපරාධ රැසකට සම්බන්ධ අතර වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ දී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2016 වර්ෂයේ මෝදර පොලිස් වසෙමේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2019 - 2017 වර්ෂවලදී වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම, වැනි සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේ ය. 

ඊට අමතරව 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීම, 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් හෙරොයින් සහ අයිස් සමග අත්අඩංගුවට පත්වීම, 2018 වර්ෂයේ ජීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්ව තිබිණ. 

 2016 වර්ෂයේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගංජා ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගැනීම, 2018 වර්ෂයේ පෑලියගොඩ පොලිසිය මගින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීම යන අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ  සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස තුවාන් ශිරාන් නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.