.webp)
පදක්කම් 4 ක් දිනූ ශ්‍රී ලංකාවට මෙවර ක්‍රීඩා උළෙලේ හිමි වුණේ 31 වැනි ස්ථානයයි.
දින 11ක් එංගලන්තයේ බර්මින්හම්හිදී පැවති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට රටවල් 72 කින් 5000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සහභාගී වූහ.
එහි සමාප්ත උත්සවය බර්මින්හම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ තිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදීයි.
බර්මින්හම් නගරයේ ඉතිහාසය සහ සංස්කෘතිය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසය විදහා දැක්වෙන විචිත්‍රාංග රැසක් එම සමාප්ති උත්සවයට ඇතුළත් විය.
ඊට එංගලන්තයේ ඔසී ඔස්බෝන් වැනි කලාකරුවන් රැසක් ද එක් වූ අතර ඩෙක්සිස් මිඩ්නයිට් රනර්ස්, UB40 වැනි සංගීත කණ්ඩායම් ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සමාප්ත උත්සවය වර්ණවත් කළේ ය.
මේ අතර සමාප්ත උත්සවයේ වැඩි ආකර්ෂණයක් දිනූ විචිත්‍රාංගයක් වූයේ ඉන්දීය සංගීත සහ නර්තනාංගයයි.
රන් පදක්කම් 67ක්, රිදී පදක්කම් 57ක්, ලෝකඩ පදක්කම් 54ක් සමගින් මුළු පදක්කම් 178ක් දිනූ ඔස්ට්‍රේලියාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ ය.
එහි දෙවැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කම් 57ක් සමගින් පදක්කම් 176 ක් දිනූ සත්කාරක එංගලන්තයයි.
රන් පදක්කම් 26ක් ද සමගින් මුළු පදක්කම් 92 ක් දිනූ කැනඩාව තුන් වැනි ස්ථානයට පත් විය.
ඉන්දියාව එහි පස්වැනි ස්ථානයට පත් වූ අතර 31 වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත්තේ ය.
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පොදු රාජ්‍ය මණ්ඩල ධජය නිල වශයෙන් ප්‍රදානය කළේ, මෙම සමාප්ත උත්සවයේදීයි.