.webp)
COLOMBO (NEWS1ST): හැටන්, වනරාජා වතුයායේ සමර්හිල් කොටසේ සිදුව ඇති කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ, මේ සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කර නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා එම සත්වයා මරණයට පත්වූ බව සනාථ වන්නේ නම් අදාල වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසය.
මේ අතර, අදාල සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා අද(08) දිනයේම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන්, වනරාජා වතුයායේ, සමර්හිල් කොටස බලා පිටත් කර හැරීමට කටයුතු කළ බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
හැටන් වනරාජා වතුයායට අයත් සමර්හිල් කොටසේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මද්දකට මෙම කොටියා හසුව තිබුණි.
මද්දෙන් බේරීම සඳහා කොටියා මද්දත් සමග අසල ගසකට නැග තිබූ අතර ප්‍රදේශවාසීන් විසින් කොටියා දැක තිබුණේ ඊයේ පෙරවරුවේදීය.
පසුව ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත වනජීවි නිලධාරීන් පැමිණ ගසේ එල්ලී සිටි කොටියා මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ ද ගස කපා කොටියා බිමට ගෙන මිනිත්තු කීපයකදී කොටියා ජීවිතක්ෂයට පත් විය.