රාජ්‍ය බැංකුවක කෝටි 6කට අධික මුදල් වංචාවක්

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 6කට අධික මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට

by Staff Writer . 07-08-2022 | 2:06 PM

COLOMBO (News 1st) - රාජ්‍ය බැංකුවකින් රුපියල් හය කෝටි 83 ලක්ෂ 40,000 ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක්, කොටුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

පොලීසිය සඳහන් කළේ, කඩවත රාජ්‍ය බැංකුවක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් වෙනත් අය ලෙස පෙනී සිටිමින් පෞද්ගලික ණය ගොනු 48 කින් එම මුදල වංචා කර ඇති බවය.

අදාළ මූල්‍ය වංචාව සිදුකිරීම සඳහා මූලිකත්වය ගත් අදාළ බැංකුවේ සේවය කළ කාන්තාව මියගොස් ඇත.

ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව, අදාළ බැංකුවේ ණය අංශයේ සේවය කළ විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරීවරියකි.

අත්අඩංගුවට ගත් 62 හැවිරිදි කඩවත පදිංචි සැකකාරිය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.