.webp)
COLOMBO (NEWS1ST): වනාන්තර, ගංගා ඇලදොළ වගේම සතාසිවුපාවාත් අපේ රටේ සම්පත්.
ඒ සම්පත් රැකගැනීම අපේ යුතුකමක්. එවැනි වටිනා සම්පත්වන නමුත් වටිනා වනසතුන් දිනෙන්දින වැනසීයන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා. අද අපේ රටේ ප්‍රදේශ කීපයකින්ම එවැනි පුවත් වාර්තා විය.
වතුකරය ආශ්‍රිත කඳුකර ප්‍රදේශවල සිටින කඳුකර කොටීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.
ඒ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කඳුකර කොටීන් සැළකිය යුතු සංඛ්‍යාවක් මිය යෑමත් සමගයි.
එහි ආසන්නතම සිදුවීම අද(07) හැටන් වනරාජා ප්‍රදේශයෙන් වාර්තා විය.
මේ කඳුකර කොටියා මෙලෙස මන්දකට හසවී තිබුණේ ඊයේ රාත්‍රියේදී ය.
හැටන් , වනරාජා වතු යායට අයත් සමහිල් කොටසේ සැරිසරන වල් උරන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට මෙම කොටියා හසුව තිබුණි.
මද්දෙන් බේරීම සඳහා කොටියා මන්දත් සමග අසල ගසකට නැග තිබූ අතර ප්‍රදේශවාසීන් විසින් කොටියා දැක තිබුණේ අද(07) පෙරවරුවේදී ය.
පසුව ප්‍රදේශවාසීන් විසින් නල්ලතන්නිය වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබූ අතර වනජීවි නිලධාදරීන් පැමිණ ගසේ එල්ලි සිටි කොටියා මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ ය.
කොටියා බිමට ගෙන මුදාහැරීම සැළසුම වුවත්, අදාල ගස කපා කොටියා බිමට ගෙන මිනිත්තු කීපයකදී කොටියා ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරදු 05ක පමණ හොඳින් වැඩුණු පිරිමි සතෙකි.
මද්දෙන් බේරීම සඳහා කොටියා විශාල උත්සහයක් දරා තිබූ අතර අදාල කේබලයට කොටියාගේ බඳ ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වී තිබුණි.
මියගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මිය ගිය කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයට භාර දීමට නියමිතය.