අමෙරිකා - චීන සබඳතාවල දෙදරීමක්

ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අමෙරිකාව සමග තිබූ සහයෝගීතාව චීනය නවතා දමයි..

by Staff writer 06-08-2022 | 9:04 AM

COLOMBO (News 1st) – අමෙරිකාව සමග ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ ඇතිකරගෙන තිබූ අන්‍යෝන්‍ය සහයෝගීතාව නවතා දැමීමට චීනය පියවර ගෙන තිබේ. 

විදෙස් වාර්තා සඳහන් කළේ, දේශගුණික වෙනස්වීම්, යුද සාකච්ඡා හා ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ගන්නා ප්‍රයත්නයන් පිළිබඳ දෙරට අතර ඇතිකරගෙන තිබූ සහයෝගීත්වය චීනය විසින් අත්හැර දමා ඇති බවයි.

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසුව චීනය මෙම පියවර ගෙන තිබේ. 

චීන විදේශ අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ, නැන්සි පෙලෝසි ඇතුළු ඇයගේ පවුලේ සමාජිකයින්ට දැඩි සම්බාධක පැනවූ බවයි.

නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතල මැදිහත් වීමක් බව එහි සඳහන් ය.

චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, අමෙරිකානු නියෝජිතවරිය තායිවාන සංචාරය චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමක් බවයි.