ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ගැන දැනුම්දීමක්

ජනපති මැදුරෙන් සොයාගත් මුදල් අධිකරණයට භාරදෙන තෙක් සිදු වූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධියි - පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 05-08-2022 | 7:54 PM

COLOMBO (News 1st) - පසුගිය ජූලි මස 09 වැනි දා ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදල අධිකරණයට භාරදෙන තෙක් සිදු වූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධී බව පොලීසිය අද (05) අධිකරණයට දැනුම් දී තිබේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්‍රමසිංහ මහතා අද(05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නැයි තමන් පොලිස්පතිවරයාට වාර්තා කරන බවයි.

එම මුදල් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පසු දින භාර දෙන ලෙසට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුරකතන ඇමතුමක් මගින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය.

එසේ මුදල් භාර දෙන ලෙසට ලබා දුන් බව කියන දුරකතන ඇමතුමට අදාල හඬ පට හා කාලීන සංවාද පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද විදුලි සංදේශ නියාමන කොමිසමට සහ දුරකතන සමාගම් දෙකකට නියෝග කර තිබේ.

මේ අතර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ලබාදුන් දුරකතන ඇමතුම සම්බන්ධව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා තබා ඇති සටහන්වල වාර්තා ද අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, මෙම මුදල් භාරගත් අවස්ථාවේ සිට අධිකරණයට භාර දෙන තෙක් පොලිස් නිලධාරීන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වාර්තාවක් යොමු කළ බවයි.

අරගලයේ ක්‍රියාකාරී තරුණ පිරිසක් විසින් කොටවු පොලිස් ස්ථානාධිපතිවරයාට භාරදී තිබූ මෙම මුදල් අධිකරණයට භාරදීමට ප්‍රමාද වීම සම්බන්ධව සොයා බලා වාර්තා කරන ලෙස නිකුත් කළ අධිකරණ නියෝගයක් මත මෙම කරුණු දැක්වීම් සිදු කරනු ලැබුවේ ය.

 
ජනපති මැදුරේ කෝටි ගණනක මුදල් අධිකරණයට භාරදෙන තෙක් සිදුවූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධියි

ජනපති මැදුරේ කෝටි ගණනක මුදල් අධිකරණයට භාරදෙන තෙක් සිදුවූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධියි - පොලිසිය අධිකරණයට දැනුම් දෙයි - #lka #SriLanka #SLnews #UNI #LPY

Posted by Newsfirst.lk on Friday, August 5, 2022