දින 05 ක යුද අභ්‍යාසයකට චීනය සූදානමින්

අමෙරිකානු කතානායකවරියගේ තායිවාන සංචාරය: චීන යුද යානා 27ක් තායිවාන ගුවන් ආරක්ෂණ කලාපයට

by Staff writer 04-08-2022 | 8:51 AM

COLOMBO (News 1st) – චීන යුද ගුවන් යානා 27 ක් සිය ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුළු වී ඇතැයි තායිවානය පවසයි.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, සිය රටට අනතුරු ඇඟවීම සඳහා චීනය මෙම ප්‍රහාරක ජෙට් යානා ඇතුළු යුද ගුවන් යානා පියාසර කරවන බවයි.

මේ අතර, දින 05 ක යුද අභ්‍යාසය අද ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි චීනය පවසයි.

චීන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මෙම යුද අභ්‍යාසය ලොව කාර්ය බහුලම ජල මාර්ග කිහිපයක සිදුකෙරෙන අතර දිගු දුර සජීවී පතොරම් වෙඩි තැබීම් ද ඊට ඇතුළත් බවයි.

චීනයේ මෙම යුද අභ්‍යාසය සිතා මතා ඇති කරන තර්ජනයක් බව තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් ප්‍රකාශ කළේ ය. 

චීනය මෙම දැඩි පියවර අනුගමනය කරමින් සිටින්නේ, අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර ලෙසයි.

වසර 25 කට පමණ පසු තායිවානයට පැමිණි ජ්‍යෙෂ්ඨතම අමෙරිකානු දේශපාලනඥයා ලෙස සටහන් තබමින් අමෙරිකානු කතානායකවරිය  ඊයේ තායිවානයේ කෙටි සංචාරයක නිරත වූවාය.

ඇය එහිදි තායිවාන ජනාධිපතිනිය හමුවෙමින් තහවුරු කළේ, කිසිදු විටෙක තායිවානය අත්නොහරින බවයි.

තායිවානය වෙනුවෙන් ලබාදෙන නොසැලෙන සහායට තායිවාන ජනාධිපතිවරිය මෙම හමුවේ දී අමෙරිකානු කතානායකවරියට ස්තුතිය පළ කර ඇත. 

අමෙරිකානු කතානායකවරියගේ සංචාරයත් සමග තායිවානයට දැඩි සම්බාධක ද පැනවීමට ද චිනය පියවර ගත්තේ ය. 

චීනය පවසන්නේ, අමෙරිකානු කතානායකවරියගේ සංචාරය, කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් බවයි.  

චීනය නිවේදනය කළේ ගින්දර සමග ක්‍රීඩාවේ නිරතවන්නන්, ගින්නෙන්ම විනාශ වන බවයි.