මහින්ද හා බැසිල් තවදුරටත් විදෙස් ගමන් තහනම්

මහින්ද හා බැසිල් පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

by Hashini De Mel 03-08-2022 | 5:22 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට පනවා ඇති විදේශ ගමන් තහනම ලබන 11 දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.  

ඒ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද දෙවන දිනටත් සලකා බැලීමෙන් අනතුරුවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරේ , විජිත් මලල්ගොඩ , එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණ. 

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා දෙවන දිනටත් කරුණු දක්වමින් කියා සිටියේ රට බංකොලොත් බවට පත් වෙමින් තිබියදී ඒ බව දැනගෙන සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා සැබෑ තත්ත්වය සඟවමින් සියල්ල යහපත් බව පවසමින් මහජනතාව නොමග යැවූ බවයි. 

පෙත්සම්වලට අදාළව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගොනු කර ඇති විරෝධතා සලකා බැලීමේදී මේ තරම් ව්‍යවසනයක් සිදු ව තිබියදීත් රටේ නියම තත්ත්වය කුමක්දැයි තවමත් ඔහු වටහා ගෙන නැති බව ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ය.  

හිටපු මුදල් අමාත්‍යවරුන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඊට වගකිව යුතු බව ද ඔහු පවසා සිටියේ. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,  රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දීම වගඋත්තරකරුවන්ගේ වැරදි තීරණ බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීන්දුවක් බවට බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ප්‍රකාශ කර තිබූ බව ද ඔහු සඳහන් කළේ ය. 

විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දැක්වීය. 

පෙත්සම් සම්බන්ධයෙන් ලබන 10 වැනිදා කරුණු දැක්වීමට නියමිතයි. 

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න ,පිහිනුම් ශූරයකු වන ජූලියන්බෝලිං ,ජෙහාන් කනගරත්න ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණ.