.webp)
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා දේපළවලට හානි කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ඇප මත මුදා හැරිණ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, එක් සැකකරුවෙක් ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
අධිකරණයට ඉදිරිපත් කර සිටි බාල වයස්කාර සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඉදිරිපත් කර තිබිණ.
22 හැවිරිදි එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් පමණක් හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා, එම සැකකරු ලබන 10 වැනිදාට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළේ ය.
මේ අතර අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගත් අවස්ථාවේ පළමුව ඊට ඇතුළු වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගය කළේ, එදිනට එම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර ඉදිරිපත් කරන ලෙසටයි.
කොළඹ කොටුව පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.