.webp)
-495365.jpg)
COLOMBO (News 1st) – මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම අගෝස්තු 04 වැනිදා දක්වා යළි දීර්ඝ කෙරිණ.
ඒ , ඔවුන් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිමකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරේ , විජිත් මළල්ගොඩ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවු අවස්ථාවේදීයි.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කිරීමට රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසිනි.
එහි වගඋත්තරකරුවන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා ප්‍රකාශ කළේ, පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
පෙත්සම්කරුවන්ගේ ස්ථාවරය අනුව ආර්ථික අර්බුදයට 2019 පසු සිටි බලධාරීන් වගකිව යුතු බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ය.
ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ, මහ බැංකු මූල්‍ය මණ්ඩලයෙන් කළ අනතුරු ඇඟවීමක් ද නොසලකා හරිමින් මොවුන් කටයුතු කළ බවටයි.
ඔහු පෙන්වා දුන්නේ, ඒ වන විට සිටි බලධාරීන් වන වග උත්තරකරුවන්, ඒ අවස්ථාවේදී ගතයුතු පියවර නොගැනීම සහ නොකළ යුතු දෑ කිරීම ආර්ථික අර්බුදයට එකම හේතුව බවයි.
2019 වසරේ මැයි මස සිට රට බංකොළොත් වන බව බලධාරීන් දැනගෙන සිටි බවට ඔහු චෝදනා කළේ ය.
වගඋත්තරකරුවන්ගේ අමනෝඥ ක්‍රියා සහ තීරණ මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය බිඳ වැටී ආර්ථිකය කඩා වැටී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පැවසී ය.
ඔහු පෙන්වා දුන්නේ IMF වෙත නොයාම ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව බවයි.
IMF වෙත යා යුතු බව උගතුන් බුද්ධිමතුන් මෙන්ම මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ පවා පෙන්වාදී තිබියදී ඒ පිළිබඳ තැකීමක් නොකර 2022 පෙබරවාරි මාසයේ පවා එවකට මුදල් අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා හිටපු මහ බැංකු අධිපති වරයාව IMF වෙත යැවීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කියා සිටියේ ය.
මෙරට ආර්ථිකය කඩා වැටෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇඟවීම් කර තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වූ වගඋත්තරකරුවන් හිතුවක්කාර ලෙස කටයුතු කර ඇති බව ද ඔහු පවසා සිටියේ ය.
තවද ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති වූයේ මෙම අදූරදර්ශී ක්‍රියා නිසා විදේශ විනිමය නොමැතිකම නිසා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
පෙත්සම් ලබන 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
