චීන නෞකාවක් අගෝස්තු 11 හම්බන්තොටට

යුආන් වෑං ෆයිව් නෞකාව අගෝස්තු 11 වැනි දා හම්බන්තොට වරායට..

by Staff writer 29-07-2022 | 8:17 PM

COLOMBO (News 1st) - හම්බන්තොට වරාය දෙසට යාත්‍රා කරමින් ඇති චීන නෞකාවක් සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, චීනයේ පර්යේෂණ හා ගවේෂණ නෞකාවක් වන යුආන් වෑං ෆයිව් නෞකාව අගෝස්තු 11 වැනි දා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බවයි.

චීනයේ ජියෑන් ඉන් වරායෙන් ඉකුත් ජුලි 13 වැනි දා පිටත් වූ නෞකාව මේ වනවිට නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හම්බන්තොට වරායට පැමිණ පහසුකම් සපයා ගැනීමෙන් අනතුරුව ඉන්දීය සාගරයේ වයඹ දිග මුහුදු ප්‍රදේශයේ ගවේශන කටයුතුවල නිරත වීමට නියමිත බවයි.

ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථික කටයුතුවලට බලපාන සියලු සිදුවීම් පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන බව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ප්‍රකාශ කළේ ය.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි මහතා කියා සිටියේ, ආරක්ෂාව තහවුරු කිරීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම්ව සිටින බවය.