ෆිච් රේටින්ග්ස් ආයතනයෙන් රජය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ජනතා සහය දුර්වලයි - ෆිච් රේටින්ග්ස්

by Staff writer 28-07-2022 | 4:18 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත්කරන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ පවුලට ඉතා සමීප පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුව තුළත් සිටින බැවින් එය තවදුරටත් මහජන විරෝධයට හේතුවක් විය හැකි බවයි.

අමෙරිකාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය එරට විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව පිළිගන්නා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රධාන ආයතන 03 අතරින් එකක් වන ෆිච් රේටින්ග්ස් අද නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ සාර්ථක රජයක් පිහිටුවීම බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහය ගැනීම යන කරුණු මත තවදුරටත් අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ෆිච් රේටින්ග්ස් පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලැබෙන්නේ නම් ඒ සමග ඉතා ඉහළ බදු පැනවීමටත්, රජයේ වියදම් පාලනය කිරීම‍ටත්ත් නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් සිදුවනු ඇති බවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මකවීමේදී මහජන විරෝධතාවක් එල්ලවීමේ අවදානමක් පවතින බව පවසන ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවේ විදේශීය මූල්‍ය ක්‍රියාකාරිත්වය ඉතා අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි අනතුරු අඟවයි.

ජූලි මාසයේ අඟවනවිට ශ්‍රී ලංකාවට තෙල්, ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම ද ඇතුළුව රටේ කටයුතු සඳහා තිබූ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වැනි සුළු ප්‍රමාණයක් බව ෆීච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.

චීනයට ගෙවිය යුතු ණය හේතුවෙන් ණය පිළිබඳ සාකච්ඡා සංකීර්ණ විය හැකි බව පවසන ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ 2020 අවසානයේ චීන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක පමණ අගයක පැවති බවයි.

ණය කපා දැමීමට වඩා ඒවා කල් පිරෙන කාලය දීර්ඝ කිරීම, ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය නැවත සකස්කර දීම, සහන කාලසීමා ලබාදීම වැනි සම්ප්‍රාදායික ක්‍රම චීනය අනුගමනය කළත් මෙම ක්‍රියාමාර්ග අනෙකුත් ණය ලබාදෙන පාර්ශ්ව සමග කෙරෙන සාකච්ඡාවලට අභියෝගාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

විදේශ විනිමය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව මේ වනවිට සීමාසහිත ණය පැහැර හැරීමේ තත්ත්වය හෙවත් ආර්.ඩී තත්ත්වයේ පවති.

ෆච්රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, මේ තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව වාණිජ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බවයි.